සිංහල අවුරුද්ද සමඟ බැඳුණු Traditional Avurudu Games in Sri Lanka

සිංහල අවුරුද්ද සමඟ බැඳුණු Traditional Avurudu Games in Sri Lanka

අලුත් අවුරුදු සිරිය දැනෙද්දි Traditional Avurudu Games in Sri Lanka අමතක කරන්නම බැරි දෙයක්. අලුත් අවුරුදු කාලය තරම් ජන ක්‍රීඩාවලට සුදුසු තවත් කාලයක් නැහැ.

අලුත් අවුරුදු උත්සව සංවිධානය කරනවා නම් මේ දවස්වල ඔයාලා Traditional Avurudu Games in Sri Lanka ගැන හොයනවා ඇති නේද? අපි අද ඒ නිසා Traditional Avurudu Games in Sri Lanka ගැන කියන්න හිතුවා.

අවුරුදු මංගල්‍ය වඩාත් සාරවත් වෙන්නේ බක් මාසය උදාවීමත් සමඟ අස්වනු කපා ගෙට ගැනීමෙන් පසුවයි. ජනතාව වගේම පරිසරයත් ඉබේම අවුරුද්දට සූදානම් වෙනවා. අවුරුද්ද කියන්නේ සංස්කෘතික උළෙලක්. සියලුම ජාතික ලක්ෂණවලින් අලුත් අවුරුද්ද සමන්විත වෙනවා. ඒ නිසාම අලුත් අවුරුදු කාලේ චාරිත්‍ර වාරිත්‍ර වගේම අවුරුදු ක්‍රීඩාවලටත් ඉහළ තැනක් ලැබෙනවා. අපිටම ආවේණික වූ අලුත් අවුරුදු ක්‍රීඩා රැසක් අතීතයේ පටන් ජන ක්‍රීඩා අතරට එක් වෙලා තියෙනවා.

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ඉස්සර ඉඳන්ම පුංචි දරුවන්ට හරිම විනෝදජනක කාලයක්. අද කාලයේ දරුවන්ට වඩා එදා කාලයේ දරුවන් අවුරුදු කාලයේදී හිතේ හැටියට විනෝද වුණා. ඔවුන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්වයන්ද නිර්මාණය වෙලා තිබුණා. කුඹුරු අස්වනු කැපී අවසානයේ තිබෙන ඉඩ කඩ නිසා අවුරුදු කාලයම ගමේ වෙල් යායන් මුල් කරගෙන සෙල්ලමින් කාලය ගෙව්වා.ඒත් අද තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක දරුවන්ට මේ විදිහට විනෝද වෙන්න පුළුවන් පරිසර තත්වයක් නැහැ.සිංහල අවුරුදු කාලයේදී ළමයින්ට විනෝද වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ අවුරුදු ක්‍රීඩා හරහායි.

අද බොහෝදෙනා විනෝදයට මේ ජන ක්‍රීඩා කරාට අපේ රටේ ජන ක්‍රීඩා ඉතිහාසය ගැන හොයද්දි පැහැදිලිව පෙන්නුම් කෙරෙන කාරණයක් වෙන්නේ පත්තිනි දේව මෑණියන්ගේ ඇදහීම් සංකල්ප මුල්කොට ගනිමින් බොහෝ ජන ක්‍රීඩා නිර්මාණය වෙලා තියන බවයි. රණකාමිත්වය, ජවසම්පන්න බව, එඩිතර බව, දරාගැනීම, විනෝදාස්වාදය වගේ සංකල්ප හරහා නව්‍යතාවයන්ට බඳුන් වෙමින් විවිධ වෙනස්කම් සිදුවෙමින් නොයෙක් ජන ක්‍රීඩාවන් සමාජයට දායාද වූ බව පැහැදිලිව පේනවා.  

අවුරුදු කාලයටම කල එලි දකින සෙල්ලම් කොටසක් තිබුණා. මේවා එදා පටන්ම හැදින්වුණේ ජන ක්‍රිඩා යනුවෙන්. ඔන්චිලි පැදීම , රබන් ගැසීම, පංච දැමීම මේ වගේ සෙල්ලම් අතරින් ගොඩාක් දෙනා අතර ජනප්‍රිය ජන ක්‍රීඩා වුණා.මේ ජන ක්‍රීඩා වෙනුවෙන් සමූහයක් එකතු වෙනවා. කිසිම දවසක හුදෙකලාව මේ ක්‍රිඩාවන් ගොඩ නැගුණේ නැහැ. අද පරිගණක ක්‍රීඩාවන් නිසා දරුවන් හුදෙකලා වුණාත් එදා දරුවන්ට මේ ජන ක්‍රීඩා නිසා සාමූහිකව එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා එදා සිට පැවත එන අදටත් අවුරුදු උත්සවවල සැමදෙනා අතර ජනප්‍රිය Traditional Avurudu Games in Sri Lanka ගැන මතකයන් අලුත් කරගනිමු.

පංච දැමීම

අද කාලේ ඉන්න තරුණ තරුණියන් පංච කෙළිය ගැන වැඩිය දන්නේ නැති වුණාට මේ පංච කෙළිය කියන්නේ අතීතයේ පටන් පැවත එන ක්‍රීඩාවක්.  අදටත් ගැමියන්ගේ විශ්වාසය වෙන්නේ දේව සංකල්පයක් වූ පත්නිනි දේවියගේ ආශිර්වාදය පංච කෙළියෙන් තමන්ට ලැබෙනවා කියලායි. ඒ වගේම තමයි පංච කෙළිය ගැන ගැමියන් අතර තව විශ්වාසයක් තියනවා.  මෙරටින් ගෙන ගිය 12,000ක පිරිස රැගෙන ඒමට ඉන්දියාවට ගිය ගජබා රජු සොලී රටින් තවත් 12,000ක පිරිසක් සමඟ ආව අවස්ථාවේ දී එරට මිනිසුන්ගෙන් පංච කෙළිය මෙරටට සම්ප්‍රාප්ත වුණා කියලාත් ගැමියෝ අතර ජනප්‍රවාදයක් තියනවා.

පංච දැමීම කියන්නේ දෙදෙනෙකුට හෝ කණ්ඩායම් දෙකකට කරන්න පුළුවන් ක්‍රීඩාවක්. එක් පිලක ක්‍රීඩකයන් ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් වීමත් අනිවාර්යයි. පංච ලෑල්ලේ ක්‍රීඩාව සඳහා පිවිසීමට පංචයක් හෙවත් ඔණ්ඩුවක් ලැබිය යුතු වෙනවා. ඔණ්ඩු කියන්නේ බෙල්ලන් එකෙක් උඩුකුරුව පිහිටීමයි. සියල්ලම උඩු කුරුව පෙරළීම සිරිමල ලෙස හැඳින්වෙනවා. එවිට ක්‍රීඩකයාට කිසිදු අය ගණනක් නොලැබෙනවා. පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වනවා. ජලයෙන් ඉත්තන් ගොඩ වෙන්නට නම් ඔණ්ඩුවක් ලැබිය යුතු වෙනවා. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට හෝ ක්‍රීඩකයාට ජය ලැබෙනවා.   

ඔංචිලි පැඳීම

වයස් භේදයක් නැතුව හැමදෙනාම අවුරුදු කාලෙට ඔංචිලි පඳින්න කැමතියි. ඒත් ඔයාලා දැනගෙන හිටියාද මේ ඔංචිලි පැඳීමේත් ඉතිහාස කතාවක් තියනවා කියලා?

අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්ථාන කරලා සතුටට පත්වෙලා කාලයක් ගතවෙද්දි ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්නකම නිසා කිසියම් වරයක් ඉල්ලා ගන්න ඕන කියලා හිතලා අසුරයා ඊට ගැළපෙන කාලය බලලා තමන්ගේ අදහස ඉදිරිපත් කරලා තියනවා. අසුරයා ගැන තිබුණු විශ්වාසය නිසා ඊශ්වර දෙවියන් වරයක් දීමට කැමැත්ත පළ කරපු අවස්ථාවේ අසුරයා ඉල්ලලා තිබුණේ තමන් කිසිවකුගේ හිසට අත තැබූ විට එම තැනැත්තා අළු වී යන වරමක්. ඊශ්වර දෙවියන් ඒ වරම ලබාදීපු තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක් පහළ වෙලා.  එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ විටම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යද්දිම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක හිතිලා.  විෂ්ණු දෙවියන් අසුරයා යන මඟ ඔන්චිල්ලාවක් බැඳගෙන ගැහැණු වෙසින් ඔන්චිල්ලා පදිනවා දැකලා අනේ මේ කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි හිතලා නළලට අත ගසලා ගත්තාම අසුරයා අළු වී ගියාලු. මේ ගැන සිහිපත් කරමින් තවමත් ඔන්චිල්ලා සාදන බව පැවසෙනවා.   

මේ විදියට හදන ඔංචිල්ලා වර්ග කිහිපයක් තියනවා. කූඩු ඔන්චිල්ලා, බඹර ඔන්චිල්ලා, දෙපයට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා සහ මල් ඔන්චිල්ලා. ඔන්චිලි පැදීමේ දී ඔන්චිලි වාරම් ද ගායනා කරනවා.

කඹ ඇඳීම

කඹ ඇදීම ගැහැණු පිරිමි වෙනසක් නැතුව, වයස් භේදයක් නැතුව හැමදෙනාම බොහොම විනෝදයෙන් කරන ක්‍රිඩාවක්. කණ්ඩායම් හැටියට තරග කරන්න පුළුවන්.  ජවය ඇති කණ්ඩායම ජය ලබා ගන්නවා. ජයගන්නා කණ්ඩායම පැත්ත මාරු කොට දෙවනුව තරග කරනවා. අද කාලයේ අවුරුදු උත්සවවල ජනප්‍රියම ක්‍රීඩාවක් වෙලා තියන මේ ක්‍රීඩාව මුහුදු ගමන් ගිය නාවිකයන්ගෙන් ආරම්භ වූ බවට විශ්වාසයක් තියනවා. ඔවුන් ව්‍යායාම හා විනෝදය උදෙසා මෙම ක්‍රීඩාව කළ බවට සඳහන් වෙනවා.

රබන් ගැසීම

අපේ රටේ බොහෝ උත්සව අවස්ථාවලදී යොදා ගත්ත රබන් ගැසීම අද ගොඩාක් වෙලාවට අවුරුදු සමයට විතරක් සීමා වෙලා තියනවා. රබාන හා බැඳිලා තියන දේව විශ්වාසයක් තියනවා.  ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවත් එම නිර්මාණය සඳුන් ලීයෙන් කළ බවත් විශ්වාසයක් තියනවා.   

රබන් ගසන කාන්තාවෝ මුලින් තෝරා ගැනීමට පහසු රබන් පදයෙන් පටන් ගෙන ඉතා සංකීර්ණ රබන් පද දක්වා ගායනය හා වාදනය කරනවා. මෙහිදී රබාන වටා නටමින් වැලමිටෙන් පවා රබන් වාදනයේ යෙදෙන කාන්තාවන් සිටිනවා. අවුරුදු කාලෙට ගම පුරාත් අවුරුදු උත්සවවලදීත් රබන් පද වයන සද්දය ඇහෙනවා.

කොට්ටා පොර ගැසීම

අවුරුදු උත්සවයක තවත් වරදින්නැති ක්‍රීඩාවක් තමයි කොට්ටා පොර ගැසීම. කොට්ට පොර ගහන්න බිම ඉඳලා අඩි 6ක් පමණ උසකින් හරස් පොල්ලක් බැඳ ගන්නවා. ඒකට කියන නම් තමයි ‘දණ්ඩියම’. මේකට ශක්තිමත් පුවක් ගසක් ගැනීම පාරම්පරික සිරිතක්. තරගකරුවන් දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන දණ්ඩියම මත ඉඳගන්නේ අත දිග කරලා පහර දෙන්න පුළුවන් තරම් සමීපවයි. මේ විදියට පහර දෙන්නේ පුළුන් පිර වූ කොට්ටයකින්. පහර දෙන්න තමන්ට හුරු අත යොදාගන්න පුළුවන්. අනිත් අත පිටුපසට කරලා බැඳගන්න අවශ්‍යයි. ප්‍රතිවාදියාගේ මුහුණට විතරක් පහර දෙන්න ඕන වගේම පහර දෙද්දි ශරීරයත් මනසත් සමබරව තියාගෙන දණ්ඩියම මත නොවැටී ඉන්න පුළුවන් තරගකරුවා ජයග්‍රහණය කරනවා. මේ පාරම්පරික කොට්ට පොර ක්‍රීඩාව අංගම්පොර සටන් කලාවෙන් දායාද වූවක් කියලා සැළකෙනවා.

කණාමුට්ටි බිඳීම

අවුරුදු කාලේදි අපිට හමුවෙන තවත් විනෝදජනක ක්‍රීඩාවක් තමයි කණාමුට්ටි බිඳීම. කණාමුට්ටි බිඳීමේදී වැලි හෝ ජලය සහිත මැටි බඳුන් පේළියක් යම් උසකට එල්ලා තියනවා. එක් බඳුනක ඒ කියන්නේ ‘ජයග්‍රාහී’ බඳුනේ වෙනස් දෙයක් දානවා.  එක්කෝ මොනාහරි වස්තුවක් හෝ ගොඩාක් අවස්ථාවලදී, වර්ණවත් ජලය අඩංගු කරලා තියනවා. සහභාගි වන්නන්ගේ ඇස් බැඳ, කිහිප වතාවක් කරකවනවා. ඉන්පසු පොල්ලකින් කණාමුට්ටිවලට ගැසීමට අවස්ථාව දෙනවා.  මෙහිදී නරඹන්න ඇවිත් ඉන්න ජනතාව ප්‍රීති ඝෝෂා හා සිනහා නඟමින් තරගකරුවාට ප්‍රබෝධයක් ලබාදෙනවා. කණාමුට්ටිවලට ගැසුවාට පසු තරගකරු තෙමෙනවා නම් ඔන්න ඉතිං නිවැරදි බඳුනට පහර දීලා ජය අරගෙන තියන බව දැන ගන්නවා.

අලියාට ඇහැ තැබීම

අලියාට ඇහැ තැබීමේ තරගය අතීතයේ ඉඳන්ම අද දක්වාම අවුරුදු උත්සවවල වරදින්නැතුවම තියන තරගයක්. කුඩා ළමයින්ගේ අවුරුදු උත්සවවලත් වැඩිහිටි අයගේ අවුරුදු උත්සවවලත් මේ ක්‍රීඩාව හැමෝටම විනෝදයක් එකතු කරන තරගයක් වෙලා. මෙහිදී කරන්නේ කළු ලෑල්ලක සුදු පාටට අලියෙකුගේ රූපයක් ඇඳලා තියනවා. හැබැයි මේ අලියාගේ අඩුපාඩුව තමයි අලියාට ඇහැක් නෑ. තරගකරුවන් තමයි අලියාට හරියටම ඇහැ තියන්න ඕන. මේකට සහභාගි වෙන තරගරුවන්ගේ ඇස් බඳිනවා. ඊටපස්සේ තරගකරුවා ඇස් බැඳගෙන අලියාව ඇඳපු බෝඩ් එක ළඟට ගිහින් දීලා තියන පෑනෙන් හෝ පැටිග්ලම් එකෙන් අලියාට ඇහැ තියන්න ඕන. ඇඳලා තියන අලියාගේ රූපෙට හරියටම ඇහැ තියපු කෙනා ජයග්‍රහණය කරනවා.

බනිස් කෑමේ තරගය

අවුරුදු ජන ක්‍රීඩා බොහෝමයක් පාරම්පරික විශ්වාසයක් හා ඇඳහීම් මත අතීතයේ ඉඳන් පැවත එනවා. හැබැයි‌ මේ බනිස් කෑමේ තරගයේ ආගමික හෝ චාරිත්‍රානුකූල අර්ථයක් නැති වුණාට ඕනෑම අවුරුදු උළෙලක අනිවාර්යෙන්ම තියෙන හරිම විනෝදජනක අවුරුදු ක්‍රීඩාවක් වෙලා. ශ්‍රී ලාංකික අපි කෑම ජාති කන්න කොහොමත් ආසයිනේ. කෑමවලට ප්‍රිය කරන, විනෝදයට, තරගකාරිත්වයට කැමති අය වෙනුවෙන්මයි මේ අවුරුදු ක්‍රීඩාව හදලා තියන්නේ.  එළිමහන් ක්‍රීඩාවක් හැටියට කරන මේ බනිස් කෑමේ තරගයේදී බනිස් ගෙඩි පේළියක් තිරස් කණුවකින් හෝ නූලකින් එල්ලනවා. තරගකරුවන් පෙළ ගැසිලා එල්ලෙන බනිස් ඉදිරිපිට දණ ගහලා අත් පිටුපසට බැඳගෙන ඉන්නවා. තරගයේ අරමුණ වෙන්නේ බනිස් ගෙඩිය ඉක්මනින් කාලා ඉවර කිරීමයි.  සම්පූර්ණයෙන්ම බනිස් ගෙඩිය කාලා ඉවර කරන පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත්‌වෙනවා.  පුළුවන් තරම් වේගෙයන් බනිස් ගෙඩිය කාලා ඉවර කරන්න හැමෝම උත්සාහ කරන නිසා මේ ක්‍රීඩාව බලාගෙන ඉන්න අයටත් අපූරු විනෝදයක් ගෙනදෙනවා.

අලුත් අවුරුද්ද සමඟ Traditional Avurudu Games in Sri Lanka ගැන මතකය අපි අලුත් කරන්න හිතුවේ අද ගොඩාක් දෙනා මේ වගේ වටිනා ජන ක්‍රීඩාවලින් ඈත් වෙලා නිසායි. අද තියන දැඩි කාර්යබහුලත්වය නිසාම බොහෝදෙනා පරිගණකය සමඟ ජීවිතය ගෙවන්න හුරු වෙලා. ඒත් කුඩා දරුවන්ට තරුණ පිරිසට මෙවැනි ජන ක්‍රීඩාවල අත්දැකීම විඳින්නට ඉඩ ලබාදෙන එක ගොඩාක් වටිනවා. ඒ නිසා මේ අවුරුදු සමයේ ජන ක්‍රීඩා සමඟින් විනෝද වෙලා අවුරුදු අසිරියේ සැබෑ අරුත විඳගන්න.

අවුරුදු කෑම මේසයට අවශ්‍ය අවුරුදු රස කැවිලි ගෙදරදීම හදාගන්න ලේසි ක්‍රම ගැන දැනගන්න අවුරුදු කෑම මේසය රසවත් කරන Avurudu Sweets Recipes ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php