අවුරුදු චාරිත්‍ර සමඟ බැ‌‌ඳෙන Aluth Avurudu Nakath Litha

අවුරුදු චාරිත්‍ර සමඟ බැ‌‌ඳෙන Aluth Avurudu Nakath Litha

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්න Aluth Avurudu Nakath Litha අපිට බලන්නම වෙනවා. අලුත් අවුරුද්ද සමඟ මේ Aluth Avurudu Nakath Litha සමීපව බැඳිලා තියනවා.

මෙදා සැරේ අවුරුද්දේ Aluth Avurudu Nakath Litha තාම බැලුවේ නැද්ද? ඔන්න එහෙනම් අපි අද ඔයාලාට ‌‌මේ අවුරුද්දේ Aluth Avurudu Nakath Litha මතක් කරන්න හිතුවා.

වසන්ත කාලය සමඟ උදාවෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සමඟ බැඳී තිබෙනවා. අලුත් අවුරුදු ලිතේ සාම්ප්‍රදායික සිරිත් වෙලාවන් ලියලා තිබුණාත් අලුත් අවුරුද්ද කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිව අලුත් කරන්න යොදන උපායක් වගෙයි.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීම මුල් කරගෙන තමයි සිංහල අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ. ඒ නිසා තමයි අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍ය කියලාත් හඳුන්වන්නේ.  කෘෂිකාර්මික ආර්ථික රටාවක් හා බෞද්ධ උරුමයක් තියන ශ්‍රී ලංකාවේ සිංහල අවුරුද්ද නම් සංස්කෘතික උත්සවය සිදු කෙරෙන්නේ ඊට මුල්තැන දෙමින්. වසර පුරාම වෙහෙස මහන්සි වී අස්වනු නෙළා ගත්තාට පස්සේ හිතට ඇති වෙන්නේ ප්‍රීතියයි. ප්‍රීතිය, සතුට සැමරීම, කෙළි දෙළෙන් ගත කිරීම සංස්කෘතික උත්සවය හා බැඳී පවතිනවා. ඒ නිසා කෘෂිකර්මාන්තය වටා බැඳුණු ජීවන රටාවේ අංගයන්ට මුල්තැන දෙමින් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම ඉතිහාසයේ ඉඳන් පැවත එන්නක්.  අවුරුදු චාරිත්‍ර සමඟ මෙදා සැරේ අවුරුදු නැකැත් වෙලාවන් යෙදිලා තියන්නේ කොහොමද කියලා අපි බලමු.

2022 අවුරුදු ලිත

නව සඳ බැලීම

හත්වන සියවසේ දී පමණ සීගිරිය බලන්නට ගොස් එහි සිතුවම් නරඹා අසල වූ කැටපත් පවුරේ ගීයක් කුරුටු ගාපු කවියෙක් බක් මහේ නව සඳ ගැන සඳහන් කළේ ‘නව බග් ල සන්ද්’ යනුවෙන්. තමා බක් මහේ නව සඳ දුටු මිනිසෙකැයි ඔහු ආඩම්බරයෙන් පැවසූ බව ද සඳහන් වෙනවා. නව සඳ බැලීමේ චාරිත්‍රය එකල පටන් පැවැති බව ඉන් අර්ථවත් වෙනවා. ඉරු දෙවියන් මෙන්ම සඳ දෙවියෝත් ලෝකය ආලෝකමත් කරනවා.  අවුරුදු කාලයට සිංහල බෞද්ධයෝ දෙවරක් සඳ බලනවා.  එක් වරක් පරණ අවුරුද්දටයි. අනෙක් වර අලුත් අවුරුද්දටයි.අලුත් අවුරුද්දේ පායන්නේ නව සඳයි. අලුත් අවුරුද්දට නව සඳ බැලීමෙන් ද සිත ශක්තිමත් කෙරෙනවා. නව සඳ දවසින් දවස මෝරා පුර සඳක් බවට පත් වෙනවා වගේ උදා වුණු අලුත් අවුරුද්ද ද වාසනාවෙන් පිරේවායි සිංහලයෝ ප්‍රාර්ථනා කරනවා. නව සඳ බලමින් හකුරු වැනි පැණි රස කැවිල්ලක් කෑම දකුණු පළාතේ සිරිතක් වෙලා තියනවා. 

මෙවර අප්‍රේල් මස 03 වැනි ඉරිදා දින අභිනව චන්ද්‍ර වර්ෂය ද මැයි මස 05 වන බ්‍රහස්පතින්දා අභිනව සූර්ය වර්ෂය ද සඳහා නව සඳ බැලීම ඉතාමත් මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

දිනපතා ස්නානය කිරීම නීරෝගීමත් ජීවිතයකට මග පාදනවා.  ගෙවී ගිය අවුරුද්දේ නෑම සිදු කරන අවසාන දිනය ලෙස පරණ අවුරුද්ද සඳහා ස්නානය කරන දිනය හඳුන්වනවා. ජලය ස්නානය කරලා පව් බැහැර කිරීමේ චාරිත්‍රයක් භාරතීය හින්දු දහමේ තියනවා. මේ චාරිත්‍රය ඒ ආභාෂයෙන් පැමිණියා වෙන්නත් පුළුවන්. මෙදින නෑමෙන් පසු හිස තෙල් ගා නාන තෙක් ස්නානය කිරීමක් සිදු කරන්නේ නැහැ.

මෙවර අප්‍රේල් මස 13 වෙනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම ඉතාමත් මැනවි.

අලුත් අවුරුදු උදාව

හිරු දෙවියන් මීන රාශියට ආ විට එක් අවුරුද්දක් ගෙවී යනවා. ගෙවී යන ඒ අවුරුද්දේ අන්තිම දවස පරණ අවුරුද්දයි. ඉරු දෙවියන් මේෂ රාශියට සම්පුර්ණයෙන්ම ඇතුළු වුණාම තවත් අවුරුද්දක් ආරම්භ වෙනවා. ඒ අලුත් අවුරුද්දයි. අවුරුදු චාරිත්‍රවල කේන්ද්‍රීය සාධකය වෙන්නේ අවුරුදු උදාවයි. රාශි දොළහෙන් අවසාන රාශිය වන මීන රාශියේ සිට ආරම්භක රාශිය වන මේෂ රාශියට සූර්යයා ගමන් කිරීම මේ මොහොතේ සිදුවෙනවා.

මෙවර අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

පුණ්‍ය කාලය

මීන රාශියෙන් පිටත් වූ සූර්යයාට සම්පුර්ණයෙන්ම මේෂ රාශියට ඇතුල් වීමට පැය කිහිපයක් ගත වෙනවා.

මේ කාල සීමාවේදී සූර්යයා සිටින්‌නේ මීන රාශියත් මේෂ රාශියත් අතරයි. එක් තැනකින් තව තැනකට යෑම සංක්‍රාන්තියයි. මෙය සූර්ය සංක්‍රාන්තිය කියලා හඳුන්වනවා. සූර්ය සංක්‍රාන්තිය සිදු වන ඒ පැය කිහිපය පරණ අවුරුද්දටත් නැති, අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡේදයක් සේ සැලකෙනවා. එහාටත් නැති මෙහාටත් නැති නැති දෙකටම නැති මේ කාලයේ සුබ නැකැත් ද නැහැයි කියලා තමයි විශ්වාස කරන්නේ.

සුබ නැකතක් නැති නිසා මේ කාලය නොනගතය වශයෙන් හඳුන්වනවා. නොනගතය අවදානමක් තියන අනතුරුදායක කාලයක් හැටියට  පැරැණ්නන් අතර ඇඳහීමක් තියනවා. ඒ නිසා මේ කාලයේදී අපිට ආරක්ෂාව අවශ්‍ය වෙනවා. සිංහල බෞද්ධයාට ඒ ආරක්ෂාව ලැබෙන්නේ පන්සලෙන්. නොනගතයේදී සියලු වැඩ අතහැරලා හැම බෞද්ධයෙක්ම පන්සල් යනවා. එය පුණ්‍ය කාලය වශයෙන් චාරිත්‍ර – වාරිත්‍රවලට එකතුවෙලා තියනවා.

මෙවර පුණ්‍ය කාලය යෙදී ඇත්තේ මෙලෙසයි. අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා (එළිවන පාන්දර පූර්ව භාග 02.17 තත්පර 17 සිට එදින අපර භාග 03.05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 02.17 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 08.41 තත්පර 17 සිට අපර භාග 03.05 තත්පර 17 දක්වා කාලය තුළ අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීම ද ඉතාමත් මැනවි.

ආහාර පිසීම

අලුත් අවුරුද්දට ගේ දොර අලුත් වෙනවා. මුලින්ම මේ අතරින් පිරිසිදු කරන්නේ ගෙදර කුස්සියයි. කැඩී බිඳී ගිය ළිප්ගල් අලුතින් බැඳලා කුස්සියට අලුත් මුහුණවරක් එකතු කරනවා.

අලුත් අවුරුද්ද උදාවෙද්දි අලුත් ළිප් බැඳ අලුතින් ළිප් ගිනි මොළවා, අලුත් සහලින්, අලුත් වළඳකින්, අලුත් බතක් පිසීමට සියල්ල සුදානම් කෙරෙනවා. හිරු දෙවියන් සම්පුර්ණයෙන්ම මේෂ රාශියට ඇතුළු වනවාත් සමඟම අලුත් අවුරුද්ද උදාවීම සංකේතවත් කරමින් සෑම ගෙදරකම පාහේ ළිප ගිනි මෙළෙවීමේ චාරිත්‍රය සිදු කෙරෙනවා.  මේ මොහොත ගෙදරට අලුතින්ම ගින්දර ගෙනෙන මොහොතක්.

එළැඹි සුබ නැකතට ළිප ගිනි මොළවා අලුත් හැළියක කිරි ඉතිරිමේ චාරිත්‍රය සිදු කෙරෙනවා. අනතුරුව කිරි මිශ්‍ර අලුත් බතක් පිසගන්නවා. සුබ නැකත එළඹ ඇති බව කියන්නට විවිධ දෙසින් රතිඤ්ඤා පත්තු කරන සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. රටේ සියලුම දෙනා එකම වෙලාවක එකම කාර්යයක නිරත වීමේ චාරිත්‍රය අපේ හෙළ සංස්කෘතියේ ප්‍රතිමුර්තියක්.

කිරි බත අපේ සහල් සංස්කෘතියේ චාරිත්‍රයක් වගේම කිරි බත් පිසීම අපේ සංස්කෘතියේ සශ්‍රීකත්වයේ ලක්ෂණයක්. කිරි බත පිස එයට තල වර්ග, ගිතෙල් හකුරු ආදිය දමා සකස් කරලා නැකතේදී පිසීමේ කටයුත්ත අවසන් කරනවා.

මෙවර ආහාර පිසිමේ නැකතට අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.05 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා. දීකිරි මිශ්‍ර කිරිබතක් හා උඳු පිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම ඉතාමත් මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

ආහාර අනුභවයත් වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමත් සිදු වන්නේ එකම නැකතකටයි. ගනුදෙනු කිරීමේදී පවුලට ඉතා හිතවත් යහපත් පුද්ගලයකු සමඟ ගනුදෙනු කිරීමද වැඩ ඇල්ලීමේ දී කිරි ගසකට පිහියකින් කෙටීම හෝ කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩක් සිදු කිරීමද සිරිතයි. දිනපතා වතුර ගන්නා ළිඳට අගුරු කැබැල්ලක් වී ටිකක් හා කාසියක් එකට තබා රෙදි කැබැල්ලකින් ඔතා පොට්ටනියක් කර ළිඳට දමනවා. පළමු වතුර බාල්දිය ගනු ලබන්නේ ඉන් පසුවයි. මෙය ස්වභාව ධර්මය සමඟ මිනිසාගේ ඇති බැඳීම පිළිබිඹු කරන චාරිත්‍රයක්.  ආහාර අනුභව කරන මොහොතේ පවුලේ සියලු දෙනා එකට හිඳ අනුභවය සිදු කරනවා. එය පවුලේ සමඟිය තහවුරු කරන චාරිත්‍රයක් ලෙස හඳුන්වනවා.

සුබ නැකතට ආහාර අනුභව කරන විට සුබ දිසාවක් දෙස බැලීම වැදගත් කොට සැලකෙනවා. සුබ දිසාව මෙන්ම සුබ වර්ණයක් ද නැකැත්කරුවෝ නියම කරනවා. ආහාර අනුභවයේදී එම වර්ණ ඇඳුම් ඇඳ සිටීම දකින්නට ලැබෙනවා.

මෙවර අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.17ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම ඉතාමත් මැනවි.

හිස තෙල් ගෑම

අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී චාරිත්‍රයක් තමයි හිස තෙල් ගෑම. හිස මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම කොටසක් ලෙස සැලකෙනවා.හිසේ දිනපතා තෙල් වර්ගයක් ආලේප කිරීම නිරෝගී පැවැත්මට මඟ පාදනවා. මෙයද අලුත් අවුරුද්දේ නැකතට කරන්නක්.  ඖෂධ වර්ග ගණනාවක් සංයෝග කර තැනු තෙල් නානු වර්ගයක් ද සමඟ මිශ්‍ර කොට සුබ දිශාව බලා යහපත් පුද්ගලයකු අතින් හිසතෙල් ගෑම සිදු කරනවා. පරණ අවුරුද්ද සඳහා ස්නානය කළ පසු ස්නානය කරන්නේ හිසතෙල් ගෑමෙන් අනතුරුවයි. 

මෙවර අප්‍රේල් මස 17 වෙනි ඉරිදා දින උදේ 07.04ට රතු සහ කහ මිශ්‍ර වර්ණ (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් මැනවි.

රැකිරක්ෂා සඳහා පිටත්ව යාම

අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන අංගය වන්නේ නව වසරේ පළමුව තම ජීවන වෘත්තිය සඳහා පිටත්ව යාමෙන්ය. ගොවිතැන් කටයුතු, වෙළහෙළදාම් ආදිය සඳහා පිටත්වන්නන්ද කාර්යාලීය සේවය සඳහා යන්නන් ද සුබ මොහොතින් නිවසින් පිටත් වෙනවා.

මෙවර එය යෙදී ඇත්තේ අප්‍රේල් මස 18 වන සඳුදා උදේ 06.51 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වන ලෙසටයි.

අවුරුදු කාලෙට විනෝදයක් එක් කරන හැමදෙනා අතරම ජනප්‍රිය අවුරුදු ජන ක්‍රීඩා ගැන මතකය අවදි කරගන්න සිංහල අවුරුද්ද සමඟ බැඳුණු Traditional Avurudu Games in Sri Lanka ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published.

css.php